RSS Feed

දෝෂය කොතැන ද?

Posted on

ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය
පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ

ප්‍රතිවේදය පමණක්‌ ශේෂ ව පවතින එහෙත් ප්‍රතිපදාව උපදවා ගැනීමට අසමත් මෙකල ශාසනයෙහි ප්‍රතිපදාව උපදවාගත යුතු නිවැරැදි ම`ග පැහැදිලි කර දෙන අගනා ධර්ම දේශනයක්‌ මෑතක දී ලබුනොරුවකන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන ස්‌වාමීන්වහන්සේ විසින් පවත්වන්නට යෙදිණි. වර්තමාන ශාසනයේ නිවන් ම`ග ඇහිරී තිබෙන්නේ මක්‌නිසා ද යන කරුණ පටිච්ච සමුප්පාද විවරණය ඇසුරින් පහදා දෙන එම ධර්ම දේශනය අද පටන් බුදුම`ග පාඨක පින්වත් ඔබට කියවන්නට ලැබෙයි. මේ ධර්ම දේශනයට සවන් දී මේ අයුරින් විශාල පිරිසක්‌ වෙත කියවීමට සැලැස්‌වීම සඳහා අවස්‌ථාව උදා කර දුන් බෞද්ධයා මාධ්‍ය ජාලයේ කළමනාකාර අධ්‍යක්‌ෂ මහේෂ යහම්පත් මහතාට පුණ්‍යානුමෝදනාවෙන් යුතු ව ස්‌තුතිය පුද කර සිටිමු.

……මම තව එක සිද්ධියක්‌ පෙන්නන්නම්. ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්‌පර්ශ ආයතන හය නිසා ම ධාතු නානත්වය නිසා සංඥා පහළ වන මට්‌ටමක්‌ තමයි අපට තියෙන්නෙ. ඒ කියන්නෙ රූප පෙනෙන, ශබ්ද ඇහෙන, දැනෙන ආ, දේ. මේ ටික තමයි “ඉන්කමින්” කියල අපි පහසුවට හඳුන්වපු, එළියෙ ඉඳන් ඇතුළට එන ටික. මේ සිද්ධියෙ දෝෂයක්‌ නැහැ.

මෙහෙම සිද්ධියකින් පස්‌සෙ ආපහු ඇහැ අහකට ගන්නකොට ම ඇහැත් නිරුද්ධයි, පෙනෙන රූපයත් ඉතිරි නැති ව ම නිරුද්ධයි කියන එක නො දැක තියෙන දෙයක්‌ හැටියට අල්ලගෙන වින්දොත් මොකද වෙන්නෙ? අවිද්‍යා කර්ම ඉතිරි වෙනව. කාම ධාතුවෙ ස්‌වභාවය තමයි ආයතන හයෙන් ම කර්ම රැස්‌ වෙනව කාමාවචර මට්‌ටමින්. ඒ කිව්වෙ ආපහු එයාට සිහි කරල යන්න හය පොළක්‌ ම හැදෙනව. රූප තියෙනව කියල බලන්න යන්නත් පුළුවන්. ශබ්ද තියෙනව කියල අහන්න යන්නත් පුළුවන්. ගන්ධ, රස, ස්‌පර්ශ, සිතිවිලි තියෙනව කියල විඳින්න යන්නත් පුළුවන්. එයාට කාම ධාතුවෙ ආයතන දොළහකුයි, අටළොස්‌ ධාතුවකුයි ස්‌කන්ධ පංචකයකුයි හම්බ වෙනව. මේ තමයි “අවුටිගොයින්” කොටස.

ස්‌පර්ශ ආයතන හයේ නිරවශේෂ නිරෝධය නො දන්නාකම නිසා ස්‌පර්ශ ආයතන හය ම ඇති හැටියට නිමිති ගත්ත කෙනාට ආපහු යන්න ස්‌පර්ශ ආයතන හයක්‌ ඒ කියන්නෙ ආයතන 12ක්‌ ධාතු අටළෙසක්‌ ඉතිරියි. ඒ මට්‌ටම තමයි කාමාවචර මට්‌ටම. නිමිති උපද්දව උපද්දව විඳ විඳ ඉන්නකොට එයා උපදින්නෙ ඒ වගේ ධාතුවක්‌ ආශ්‍රිත ව මයි.

ඒ තමයි කාම භවය. අනෙක්‌ අතට රූප භවය කියල කියන්නෙ ආයතන හයට ම අරමුණු ආවට නිමිති තියෙන්නෙ ඇහෙන් දකින එකෙයි, ශබ්ද අහන එකෙයි, හිතින් හිතන එකෙයි විතරයි. ගන්ධය, රස, ස්‌පර්ශය කියන නිමිති එහේ නැහැ. ඒ හින්ද එයා ආපහු යන්නෙ (“දුරකථන ඇමතුම ගන්නෙ” කියල අපි හිතමු) තුන් පොළකට විතරයි. ඒ කියන්නෙ රූපය සිහි කරන්න පුළුවන්, ශබ්දය සිහි කරන්න පුළුවන්, සිතිවිලි සිහි කරන්න පුළුවන් විතරයි. ආයතන හයට ම අරමුණු ආවත් රූප ශබ්ද සිතිවිලි අරභයා විතරක්‌ ඒවා ඇති දේවල් බවට අදහස ඉතිරි වෙනව. ඒ හින්ද ඒව හොයාගෙන යනව.

කෙනකු ගාව තියෙන්නෙ රූපාවචර මට්‌මේ සංයෝජනයක්‌ නම් එයාට ආපහු යන්න නිමිති හිටින්නෙ ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, හිතින් දකින අරමුණු කියන ආයතන හය විතරයි. ධාතු 9 විතරමයි. එයාට අවිඡ්ජා පච්චයා සංඛාර වෙලා තියෙන්නෙ රූපාවචර මට්‌ටම. සංඛාර පච්චයා විඤ්ඤාණං කියනකොට චක්‌ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ විතරයි. ඒ මට්‌ටමේ තණ්‌හා උපාදානයක්‌ යෙදුණොත් ඒ මට්‌ටමේ තමයි භවයත්.

අරූප භවයෙ දි වෙන්නෙ මොකක්‌ ද? එහෙත් “ඉන්කමින්” හය ම තියෙනව. “අවුට්‌ගොයින්” 1ක්‌ විතරයි. මනායතනයයි ධම්මාරම්මණයි හැර අනෙක්‌ අරමුණු අරභයා, මෙතන තියෙන්නෙ සෙසු දේවල් හටගෙන නැති වීමක්‌, අවකාශයක්‌ විතර නෙ කියන අදහස බලපවත්වනව. එතකොට ඒ මට්‌ටමේ (අවකාශයක්‌ විතරයි තියෙන්නෙ කියන මට්‌ටමේ) තණ්‌හා උපාදානයක්‌ ඇතිවයි එයා ඊළ`ග භවයට යන්නෙ.

මෙහෙම බලනකොටත් පැහැදිලි වෙනව ස්‌පර්ශ ආයතන හයේ (“ඉන්කමින්වල”) නෙමෙයි දෝෂය තියෙන්නෙ කියන එක.

දැකීමෙන් පස්‌සෙ නිරුද්ධයි කියන නුවණ තිබුණොත් සංඛාර නිරුද්ධ වෙනව. සංඛාර හිටින්නෙ නෑ. පෙනෙන දේ හටගෙන නැති වෙනව කියන එක නො දන්නා අවිද්‍යාව තිබුණොත් සංඛාරය ද නිරුද්ධ වෙන්නෙ නැහැ.

ස්‌පර්ශ ආයතන හයට ම යමක්‌ එනව. පෙනෙන ඇහෙන හැම දේකට ම යමක්‌ කරනව හිතනව. හැබැයි ස්‌පර්ශ ආයතන හය ම නිරවශේෂයෙන් නිරුද්ධයි. අපි හිතපු කියපු කරපු දේවලුත් නිරුද්ධයි කියන නුවණ කෙනකුට තියෙනව නම් ඒ තැනට මනස ගන්න පුළුවන් වුණොත් අවිද්‍යාව ශේෂයක්‌ වත් එතන නැහැ. එහෙම කෙනාට යන්න තියෙන තුන් භූමියෙ ම (කාම, රූප, අරූප භව) අටළොස්‌ ධාතුව ම නිරුද්ධයි. ආයතන 12 ම නිරුද්ධයි. පංච උපාදාන ස්‌කන්ධය ම නිරුද්ධයි. ඒ මට්‌ටමට කියනව රහතන්වහන්සේ කියල.

“ඉන්කමින්” කියල කිව්ව ස්‌කන්ධ ටික අවිද්‍යා පච්චයා කියන චක්‍රයට ඇතුළු කරන්න එපා. ඇහැට රූප පෙනෙන කනට ශබ්ද ඇහෙන නාසයට ගඳ සුවඳ දැනෙන ආදි වශයෙන් කියන මේ ටික අවිද්‍යාව හැටියට දැම්මොත් අපිට ගොඩ යන්න බැහැ.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට මෙතන තියෙන්නෙ ස්‌කන්ධ ටික. ස්‌පර්ශය නිසා මේ පෙනෙන දේ හටගන්නව ස්‌පර්ශය නැති වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනව කියන තැනක මනස තියාගන්න. කණ්‌ණාඩියට එබුණොත් එබුණ හින්ද ඡායාව හටගත්ත, එබෙන්න පෙර එහෙම ඡායාවක්‌ තිබුණෙ නැහැ. එබුණ හින්දමයි හටගත්තෙ. හිස අහකට ගත්තම ඒ ඡායාව ද නැති වෙනව කියන තැන හිත තියාගෙන කණ්‌ණාඩියෙ තියෙන ඡායාව ගැන ඕන දෙයක්‌ හිතන්න. කරන්න බනින්න ගහන්න. ප්‍රශ්නයක්‌ වෙන්නෙ නැහැ.

අන්න ඒ වගේ මේ පෙනෙන දේ අරභයා දකින්න පෙර තිබුණ නෙමෙයි, දැක්‌කයින් පස්‌සෙ තියෙනව නෙමෙයි, ආයතනයන් ගෙන් උපද්දවපු දෙයක්‌ විතරමයි පෙනෙන්නෙ කියන තැනක නම් මනස තියෙන්නෙ මේ අරමුණු අරභයා මොන දේ කිව්වත් කෙරුවත් හිතුවත් සංඛාර නිරුද්ධයි.

මේ කිසි කෙනකුට ස්‌පර්ශ ආයතන හයේ ම පෙනෙන්නෙ පෙර නො තිබී ම හටගෙන ඉතිරි නැති ව ම නිරුද්ධ වෙනවා කියන දේ නම් ඒ මනසට කියනව අපරියාපන්නයි කියල.

ස්‌පර්ශ ආයතන හය ම හටගෙන නිරුද්ධ වෙද්දි හය ම ඇති බවට නිමිති හදාගෙන ඒ හය ම හොයාගෙන යන මට්‌ටමට කාමාවචර කියල කියනව.

ස්‌පර්ශ ආයතන හයට ම අරමුණු ආවත් ආයතන තුනක්‌ විතරක්‌ ග්‍රහණය කරගෙන ඒ තුන විතරක්‌ (ඇති බව සිතා) ආපහු හොයාගෙන යන මට්‌ටමට රූපාවචර කියල කියනව.

ආයතන හයෙන් ම අරමුණු එද්දි හයේ ම අනිත්‍ය දකිනව අවකාශය විතරයි තියෙන්නෙ කියන මට්‌ටම නම් තියෙන්නෙ ඒ මට්‌ටමට අරූපාවචරයි කියනව.

ස්‌පර්ශ ආයතන හයේ ම නිරෝධය දකිනව එකකට වත් නිමිති ඇති කරගන්නෙ නැහැ වුණොත් ඒ මට්‌ටමට කියනව සෝපාදිශේෂ නිබ්බාණ කියල.

ඇහැ උපාදාන කරන්නෙ (ඇති බවට අල්ල ගන්නෙ) නැති ව, රූපය උපාදාන කරන්නෙ නැති ව, චක්‌ඛු විඤ්ඤාණය උපාදාන කරන්නේ නැති ව, චක්‌ඛු සම්පස්‌සය උපාදාන කරන්නෙ නැති ව විඳිනව. එහෙම ජීවත් වීමෙ දි ඇති බවට කිසිවක්‌ හිටින්නෙ නැහැ. අවිද්‍යාව ශේෂයක්‌ වත් නැහැ. ස්‌කන්ධ පරිහරණයක්‌ පමණයි තියෙන්නෙ. ආයතන ටික නිසා ඇති පැවැත්ම පමණක්‌ තියෙනව. කර්ම කෙළෙස්‌ ඔක්‌කොම අතහැරල.

ඇහැට රූපයක්‌ පෙනෙනකොට පෙනෙන්න පෙරත් පෙනුණයින් පස්‌සෙත් තමන් ගෙ මනසෙ දෙපැත්තෙ යෙදෙන්න නිමිති නැත්නම් කෙලෙස්‌ නැත්නම් ඉබේ ම දට්‌ඨෙ දිට්‌ඨ මත්ථං වෙනව.

එහෙම කෙනාට ප්‍රත්‍යක්‌ෂ ඥානයක්‌ උපදිනව ශාසනයට ආවෙ යමකට ද ඒ අරභයා මතුවට කළ යුත්තක්‌ නැහැ කළ යුත්ත කළා කියල. ආයෙ උපදින්නෙ නැහැ කියල තමන්ට ම වැටහෙනව.

මෙතන දි එක කාරණාවක්‌ දකින්න. හේතුඵල දහම කැටි කරල ගත්තොත් බුදුරජාණන්වහන්සෙ පෙන්නන්නේ ඇහැට පෙනෙන තැනක තියෙන ස්‌කන්ධ ටික තියෙන තැනක අවිද්‍යාවෙන් කර්ම නිමිති හදාගෙන අපි ගාව යෙදෙන්නෙ කාම උපාදානය. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ය, රත්තරන් ය, රිදී ය, මුතු මැණික්‌ ය, ගෙවල් දොරවල් ය කියල කාම උපාදාන. රූපය ආත්මයක්‌ රූපය ඇසුරු කරගෙන සත්ත්වයෙක්‌ ඉන්නව කියල උපාදානය. මේ රූපය ඒ කියන්නෙ කන බොන ආහාරයෙන් හැදුණු ස්‌කන්ධ ටික දකිනකොට ම අපේ මනසෙ මේ උපාදානය යෙදෙනව.

මේකට කිව්ව උපාදාන ස්‌කන්ධය කියල. රූපය උපදින කොට කෙනකු ගෙ මනසෙ පවතින්නෙ උපාදානයක්‌ නම් මේ රූපය විපරිනාම වෙනකොට ඒ කෙනා විඳින්නෙ පංච උපාදානස්‌කන්ධ දුකක්‌.

ඒ කියන්නෙ රූපය අනාත්ම වූ ස්‌කන්ධයක්‌. කෙනා තුළයි සත්ත්වයා පුද්ගලයා කියන උපාදානය තියෙන්නෙ. ඒ කෙනා ස්‌කන්ධ ටික දන්නෙත් නැත්නම් උපාදානය දන්නෙත් නැත්නම් ඒ කියන්නෙ රූපය ආහාරයෙන් හැදුණ දෙයක්‌ කියල දන්නෙත් නෑ. එහෙව් රූපය දකිනකොට තමා තුළ පුද්ගල සංඥාව උපදින බව දන්නෙත් නැත්නම් ඒ කෙනාට පෙනෙන්නෙ රූපය පුද්ගලයකු හැටියටයි. විඳින්නෙ පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌. ඒ කියන්නෙ පුද්ගලයෙක්‌ ලෙඩ වුණා. මහලු වුණා මැරුණා කියන තැනකින් තමයි පංච උපාදාන ස්‌කන්ධ දුකක්‌ එන්නෙ. ඒ දුකට හේතුව ස්‌කන්ධ ටික නෙමෙයි උපාදානය. උපාදානය කැති කළොත් මේ දුකෙන් මිදෙනව.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: